CCTV කැමරාවක් මිලදී ගැනීමට පෙර ඔබ විසින් සැළකිලිමත් විය යුතු කරුණු 16 ක්..


පසුගිය දශකයේ CCTV තාක්ෂණය සීග්‍රයෙන් දියුණු වුනත් ඒ හා සම්බන්ධ ඇතැම් තාක්ෂණික කාරණා තවමත් අපේ එදිනෙදා ජීවිතයට එතරම්ම සමීප වී නෑ. ඒ නිසාම ඔබේ නිවසට හෝ ව්‍යාපාරයට CCTV පද්ධතියක් සකස් කර ගන්න යනකොට ඔය CCTV තාක්ෂණයන්, තාක්ෂණික හැකියාවන් සහ කැමරා වර්ග වලට සම්බන්ධ තාක්ෂණික වචන එක්ක පටලැවෙන්න සිද්ධ වෙනවා. CCTV උපකරණ විකුණන ආයතනයකින් ඇහුවා කියලා හිතමු. එයාලගෙනුත් 100% ක් අපක්ෂපාතී තොරතුරු දැනගන්න ලැබේවි කියලා විශ්වාසයක් නැහැනේ. මොකද එයාල බලන්නේ තමන් සම්බන්ධ වෙලා ඉන්න බ්‍රෑන්ඩ් එකේ හොඳ කියන්න තමයි. මේ වගේ නොයෙකුත් හේතු නිසා ඔබේ අවශ්‍යතාවයට හරියටම ගැලපෙන CCTV කැමරා තෝරා ගැනීම අපහසු වෙන නිසා තමයි අද මේ ලිපිය ලියන්න අදහස් කලේ. ඒ නිසා CCTV කැමරාවක් ගන්න කළින් මම මේ පහළින් දක්වන කරුණු ගැනත් සැලකිලිමත් වෙන්න.

1. කැමරාවට inbuilt SD card slot එකක් එනවද? නැත්නම් DVR එකේ storage එක මත depend වෙනවද?

තාක්ෂණය දියුණු වීම එක්ක එදා උපාංග ගණනාවකින් යුතු පද්ධතියක් මගින් කරපු දේවල් අද වන විට තනි කැමරාවකින් කරන්න පුළුවන් වෙලා. දැන් inbuilt SD card slot එකක් තියන කැමරාවකට මෙමරි කාඩ් එකක් දාල භාවිතා කරන්න හැකි නිසා වාසි රැසක් සැලසෙන බව අමුතුවෙන් කියන්න ඔින නැහැනෙ. ලංකාවෙ මේ දවස් වල තියන මෙමරි කාඩ් සවි කළ හැකි බොහෝ කැමරාවල අඩුම 128GB වත් කාඩ් එකක් සවි කළ හැකියි. හැබැයි සාපේක්ෂව මිළ අඩු, මෙමරි කාඩ් සවි කළ නොහැකි කැමරාත් තවම වෙළඳපොලේ තියනවා. හැබැයි ඔයාගෙ අවශ්‍යතාවයට වඩා ගැලපෙන කැමරාව මොකක්ද කියල නම් තීරණය කරන්න පුළුවන් ඔයාටම තමයි.

2. Pan/Tilt පහසුකම්

විශාල ප්‍රදේශයක් ආවරණය කිරීමට හැකිවීම සඳහා CCTV කැමරා සිරස්ව සහ තිරස්ව හැරවීමේ හැකියාව සහිතව නිෂ්පාදනය කරනවා. කැමරාව තිරස්ව හැසිරවිය හැකි උපරිම කෝණය Pan ලෙසත්, සිරස්ව හැසිරවිය හැකි උපරිම කෝණය Tilt ලෙසත් හඳුන්වනවා. සමහර හොඳ කැමරා අංශක 335 පමණ දක්වා pan අගයක් සහිතවත්, අංශක 90 දක්වා tilt අගයක් සහිතවත් තියනවා. තවත් සමහර කැමරා app එකක් මගින් දුරස්ථව හරවන්නත් හැකියි. ඉතින් ඔබට කැමරාවකින් විශාල ප්‍රදේශයක් ආවරණය කළ යුතු නම් වඩා වැඩි pan / tilt අගයක් සහිත කැමරාවක් තෝරා ගැනීම සුදුසු වෙනවා.

3. රූපරාමු වල ගුණාත්මක භාවය

මේ වන විට 1080 p වගේ විභේදනයක් (resolution) සහිත හොඳ CCTV කැමරා දකින්නට ලැබෙනවා. ඇත්තටම resolution වැඩි වෙන්න වැඩි වෙන්න රූප වල ගුණාත්මක භාවය ඉහලයි. හැබැයි මතක තියා ගන්න... රූප වල තත්වය ඉහළ යන්න යන්න ඒවා ගබඩා කරන්න වැය වන ඉඩ   ප්‍රමාණයත් ඉහළ යන බව. ඒ කියන්නේ වැඩි ධාරිතාවයකින් යුතු Hard drives අවශ්‍ය වෙනවා. ඔයා Terabytes කිහිපයක ඉඩකඩ සහිත DVR එකක් හරි NVR එකක් හරි භාවිතා කරනවා නම් කිසි        ප්‍රශ්ණයක් නෑ වඩා හොඳ resolution සහිත කැමරා තෝරාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 1MP කැමරාවකින් සම්පූර්ණ දවසක් රෙකෝඩ් කරන්න 38GB වගේ ඉඩක් වැය වෙනවා.

4. කැමරාවෙ motion and audio sensors තියනවද?

මේ පහසුකම නම් අදාල වෙන්නෙ smart ආරක්ෂක කැමරා සඳහා තමයි. මේවායේ මිළ තරමක් වැඩි නිසා ලංකාවෙ තවම ඒ කරම්ම ජනප්‍රිය වෙලා නම් නැහැ. නමුත් අනිවාර්යෙන්ම නුදුරු අනාගතයේ මේ චලන සංවේදී සහ ශබ්දයට සංවේදී පහසුකම් වලින් සමන්විත කැමරා බොහෝ සේ භාවිතයට ගැනේවි. අසාමාන්‍ය ශබ්ද සහ චලන හඳුනාගෙන දැණුම් දීම මේ කැමරා මගින් සිදු කරනවා. ඔබට අධි ආරක්ෂිත CCTV පද්ධතියක් අවශ්‍ය නම් සහ මුදල් සම්බන්ධයෙන් ඒ හැටි ප්‍රශ්නයක් නැතිනම් මේ පහසුකම් සහිතව කැමරාවක් ලබා ගන්නට පුලුවනි.

5. කැමරාව සවි කිරීමට සහ සැකසුම් කිරීමට පහසුද යන වග.

සාමාන්‍යයෙන් wireless CCTV camera තමයි සම්බන්ධ කරගන්න සහ සැකසුම් කරගන්න ලේසිම. කැමරාවක් තෝරාගැනීමේදි අපි ඒක සවි කරන්න බළාපොරොත්තු වෙන ස්ථානය හා මවුන්ට් කරන්න කොයි කරම් ලේසිද යන්න ගැන සැලකිලිමත් විය යුතු වෙනවා. කැමරාව හොඳ pan/tilt පහසුකම් සහිත එකක් නම් positioning ගැන නම් ඒ තරම් වද වෙන්න අවශ්‍ය නැහැ. කොහොම උනත් කැමරාවක් ස්ථිරව සවි කරන්න නම් drill කරන්න වෙනවා. සමඑර විට මේ සඳහා නිපුණතාවයක් තියන කෙනෙක්ගේ සහාය අවශ්‍ය වේවි. හැබැයි උත්සාහ කළොත් බැරි වෙන්නෙ නෑ. ඇතැම් හොඳ කැමරා mounting stand එකක් සහ ඇණත් එක්කම එනවා.
බොහෝ විට පළමු වතාවට කැමරා සෙටප් කිරීමේදී app එකක් download කරගන්න වෙනවා phone එකට. SIgn in උනාට පසු ඔබට පුළුවන් කැමරාවෙ තියන QR Code එක scan කරගන්න. මේ වැඩේට මිනිත්තු කිහිපයයි වැය වෙන්නෙ.

6. කැමරාව වෙබ් කැම් එකක් සේ භාවිතා කිරීමට හැකිද?

අද වන විට inbuilt මයික්‍රොෆෝනය සමග 2-way communication සඳහා සහාය දක්වන කැමරා දකින්නට තියනවා. ඔබට මෙමගින් වීඩියෝ සංවාදයක් පැවැත්වීමේ හැකියාව පවතිනවා.





7. කැමරාව Waterproof ද යන්න?

එළිමහනේ ස්ථාපනය කරනු ලබන එනම් outdoor කැමරා ජලයෙන් හානි සිදු නොවන ඒවා වීම     අත්‍යවශ්‍යයි.

8. කැමරාව සමග ලැබෙන වෙනත් accessories ගැන.
CCTV කැමරාවක් තෝරා ගැනීමට කළින් ඒ සමග ලැබෙන  අනෙකුත් උපාංග පිළිබඳව සැලකිළිමත් වෙනවා නම් හොඳයි. ඇතැම් කැමරා සමග ඒවා සවිකිරීම සඳහා stand එකක්, ඇණ, වයර් සහ ඇඩැප්ටර්ස් ආදිය ලබා දෙනවා. මිළෙන් අඩු කැමරා සමග නම් මේ අමතර කොටස් ලැබෙන්න තියන ඉඩකඩ අඩුයි. එහෙම උනොත් මේ කොටස් වෙනමම මිළදී ගන්න වෙනවා.

9. කැමරාවේ ඇති Infra-Red LED සංඛ්‍යාව

කැමරාවේ ඇති කුඩා බල්බ ලෙස කැමරා කාචය දෙපස පිහිටා ඇති Infra-Red LED වලින් තමයි රාත්‍රී කාළයේ දර්ශණ (Night Vision) ලබා ගැනීමට භාවිතා කරන Infra-Red light ලබා දෙන්නේ. මේ බල්බ වැඩි වෙන්න වෙන්න රාත්‍රී දර්ශණ පැහැදිලි බවක් ගන්නවා.






10. කැමරාවේ Maximum range එක.

කැමරා කාචයේ focal length එක මත සහ image sensor එකේ ප්‍රමාණය යන සාධකයන් මත කැමරාවේ Maximum range එක තීරණය වෙනවා. Range එක වැඩි වන තරමට දුර තියන දර්ශනයන් ගේ පැහැදිලි බව වැඩියි. මෙහි ඉහළ අගයන් ඇති කැමරා වඩා වැදගත් වෙන්නෙ outdoor කැමරා වලට තමයි. අඩුම ගානෙ 20m - 25m වත් range එකක් තියන කැමරාවක් තෝරා ගන්නවා නම් සුදුසුයි.

11. කැමරාව offline වැඩ කරනවද? inbuilt hotspot තියනවද? කියලත් බලමු.

කැමරාවෙ Inbuilt Hotspot එකක් තියනවා නම් wifi අන්තර්ජාල සම්බන්ධයකින් තොරවම livestream කිරීමේ හැකියාව තියනවා. එතකොට ඒ දර්ශණ smartphone එකෙන්ම නැරඹිය හැකියි. හැබැයි සීමිත දුර ප්‍රමාණයක තමයි මේ සම්බන්ධතාව විහිදෙන්නේ. සාමාන්‍යයෙන් මේ කැමරාවල ඇන්ටෙනා එකක් තියනවා. මේ වර්ගයේ කැමරා පොඩි කඩයකට වගේ හොඳටම ගැලපෙනවා. අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය වෙන්නෙත් නැහැ.



12. වෙනත් වර්ගයක DVR එකකට සම්බන්ධ කිරීමට හැකිද?

සමහර CCTV නිෂ්පාදකයින් CCTV පද්ධතියේම කොටසක් විදියට කැමරාත් ලබා දෙනවා. ඒත් එහෙම දෙන ඇතැම් කැමරා වෙනත් DVR සඳහා සහාය දක්වන්නේ නෑ. ඔබ සතුව දැනටමත් DVR එකක් තියනවා නම් සහ මිලදී ගන්න යන කැමරාව ඊට සම්බන්ධ කරන්න බළාපොරොත්තු වෙනවා නම් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.

13. CCTV කැමරා සපයන්නා  නීත්‍යානුකූලද?

CCTV විතරක් නෙවෙයි අනෙකුත් විදුලි උපකරණ උනත් නිසි පරිදි ලියාපදිංචි කරලා, සහතික කරලා, බදු ගෙවලා    නීත්‍යානුකූලව තමයි ගෙන්විය යුත්තේ. නමුත් සමහර මිලෙන් අඩු බාල වර්ගයන් වල කැමරා අවශ්‍ය තාක්ෂණික සහතික ලබා ගන්න තරම් ප්‍රමිතියෙන් ඉහළ නැහැ. ඒ නිසා ඒවා හොර පාරෙන් ගෙනත් විකුණන අවස්ථා තියනවා. ඔබට ප්‍රමිතියෙන් ඉහළ CCTV පද්ධතියක් අවශ්‍ය නම් හොඳ තැනකින් විශ්වාසවන්තව ගන්නවා නම් වඩා හොඳයි.

14. Outdoor සහ Indoor කැමරා

කාර්යාල සහ නිවාස සඳහා Indoor කැමරා භාවිතා කරන්න පුලුවන්. සාමාන්‍යයෙන් dome හැඩැති    ප්‍රමාණයෙන් කුඩා කැමරා වර්ගයක්. Outdoor කැමරා නම් එලිමහනෙ සවි කරන්න පුලුවන්. මේවායෙ සාමාන්‍යයෙන් indoor කැමරාවලට වඩා pan / tilt අගය ඉහළයි.





15. රැහැන් සහිත කැමරාවක්ද? රැහැන් සහිත කැමරාවක්ද?

සාමාන්‍යයෙන් ලංකාවෙ රැහැන් සහිත කැමරා බොහෝ සේ ජනප්‍රියයි. ඊට හේතුව තමයි මේ කැමරා මිලෙන් අඩු වීම. මේ කැමරා coax කේබල් මගින් DVR එකට සම්බන්ධ වෙනවා වගේම විශ්වාසනීයත්වය  අතින් ඉහළයි.
අනිත් අතින් රැහැන් රහිත කැමරා සලකනකොට mobility සහ scalability අතින් ඉහලයි. ඒ කියන්නෙ අපට අවශ්‍ය විදියට පහසුවෙන් කැමරා ස්ථානගත කිරීමට හා වෙනස් කිරීමටත් අවශ්‍ය නම්  CCTV පද්ධතියට තවත් කැමරා ඉතා පහසුවෙන් සම්බන්ධ කිරීමටත් හැකියාව තියනවා.

16. මිළ සහ වගකීම

හොඳ ප්‍රමිතියකින් යුතු කැමරාවක් අඩුම වසරක් වත් වගකීම් කාළයක් එක්ක තමයි එන්නේ. ඇතැම් කැමරා සඳහා වසර 3 ක වගේ වගකීම් කාළයක් ලැබෙනවා.
එහෙනම් CCTV කැමරාවක් ගන්න කළින් මේ කරුණු ගැනත් සැළකිලිමත් වෙන්න. එය ඔබේ CCTV පද්ධතියට වටීනාකමක් එක් කරාවි.




ස්තුතියි.!



Comments