Google සමාගම Pixel ජංගම දුරකථන කැමරාව භාවිතා කර හෘද ස්පන්දනය සහ ශ්වසන වේගය මැනීම සඳහා නව තාක්ෂණයක් හඳුන්වාදෙනු ලබයි.

ගූගල් සමාගම විසින් තම පික්සෙල් දුරකථන සඳහා නව සෞඛ්‍ය නිරීක්ෂණ පහසුකමක් එළිදක්වා ඇති අතර එය ඉක්මනින් අනෙකුත් ඇන්ඩ්‍රොයිඩ් උපාංග වෙත ලබා දීමට කටයුතු සිදු කරමින් පවතී. එම සමාගම විසින් විශේෂිත සංවේදක මත පදනම් නොවී ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනයේ කැමරාව භාවිතා කරමින්  ශ්වසනය සහ හෘද ස්පන්දනය මැණීමේ තාක්ෂණයක් එළිදක්වා ඇති අතර ගූගල් හි බොහෝ Machine learning ව්‍යාපෘති මෙන්, මෙය පළමුව ගූගල් පික්සෙල් දුරකථන වෙත හඳුන්වාදී ඇත.

ගූගල් සමාගමට අනුව, වෛද්‍යවරුන් බොහෝ විට රෝගියාගේ ශ්වසනය තක්සේරු කිරීමට සරල දෘශ්‍ය විශ්ලේෂණයක් භාවිතා කරයි. ගණනය කිරීම සිදු කිරීම ඔබගේ දුරකථනයේ ඇතුලත් කර ඇති ඇල්ගොරිතමයක් මගින් සිදු කරනු ලබයි. දුරකථනයේ ඉදිරිපස කැමරාව මගින් පරිශීලකයාගේ හිස සහ පපුවේ කුඩා චලනයන් මගින් අවශ්‍ය මිනුම් ලබා ගනු ලබන අතර වඩාත් නිවැරදිව කියවීම සඳහා ඔබ දුරකථන යෙදවුම මගින් පෙන්වා දෙනු ලබන රාමුව තුල ස්ථානගත විය යුතු වේ.


ජංගම දුරකථන යෙදවුම මගින් ඔබ ස්ථානගත විය යුතු ආකාරය පෙන්වා දෙනු ලබයි. 

හෘද ස්පන්දන වේගය මැනීම සඳහා දුරකථනයේ පසුපස කැමරාව භාවිතා කළ යුතු වේ. ඔබ කැමරාවේ සංවේදකය මත ඔබේ ඇඟිල්ල තැබිය යුතු අතර, දුරකථන යෙදුම ඔබේ ස්පන්දනය මැණීම සඳහා රුධිර ප්‍රවාහයේ සියුම් වර්ණ වෙනස්වීම් භාවිතා කරයි. එය Samsung Galaxy S5 දුරකථනය සමඟ ආරම්භ වී වසර ගණනාවක් තිස්සේ එහි දුරකථන වල ඇතුළත් කර ඇති සංවේදකයට සමාන සංවේදකයක් වන අතර Samsung සමාගම මෙම අතිරේක සංවේදකය ඇතුළත් කිරීම නැවැත්වූයේ පරිශීලකයින් එය භාවිතා කිරීමට එතරම් උනන්දු නොවූ බැවිනි. කෙසේ වුවද Smart watch සහ Fitness band වැනි සිරුරේ පැළඳිය හැකි උපාංග අඛණ්ඩව හෘද ස්පන්දන දත්ත එකතු කරනු ලැබූවද සාමාන්‍ය ජංගම දුරකථනය මගින් සෞඛ්‍ය දත්ත එක්රැස් කිරීම ඊට වඩා වැදගත් බව ගූගල් සමාගමේ අදහසයි. එයට හේතු වනුයේ සෑම කෙනෙකුටම පැළඳිය හැකි උපාංගයක් නොමැති බැවින් සහ සතිපතා පරිශීලකයාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ දත්ත රැස්කර තබා ගැනීම වැදගත් වන බැවිනි. දැනට භාවිතයේ පවත්නා ස්මාර්ට්ෆෝන් සඳහා මෙම විශේෂාංග එකතු කිරීමෙන් විශාල පිරිසකට ඔවුන්ගේ සෞඛ්‍ය දත්ත  කලමනාකරණය කිරීම පහසු වනු ඇති බව ගූගල් සමාගමේ අදහසයි.

මෙම නව තාක්ෂණය හඳුන්වා දෙන අතරම ගූගල් සමාගම පවසන්නේ තවමත් මෙය සාමාන්‍ය සෞඛ්‍ය යහපැවැත්ම සඳහා වූ මෙවලමක් පමණක් වන බැවින් කිසිදු රෝගයක් හඳුනා ගැනීමට හෝ ප්‍රතිකාර කිරීම සඳහා මෙම තොරතුරු  භාවිතා කිරීම නිර්දේශ නොකරන බවයි. කෙසේ වෙතත්, කැමරාව පදනම් කරගත් මෙම මිණුම් ඉතා නිවැරදි බව ඔවුන් විසින් තහවුරු කරයි. ස්පන්දන කියවීම් සත්‍ය අගයෙන් සියයට දෙකක් තුළ විචලනය වන අතර ශ්වසනය විනාඩියකට එක අගයක පමණ සුළු වෙනසක් පෙන්නුම් කරන ලද බවත් ගූගල් සමාගම විසින් තහවුරු කරන ලදී. මෙම පහසුකම මේ මාසයේ පික්සෙල් දුරකථන වෙත ලබා දෙනු ඇති අතර ගූගල්  සමාගම විසින් අඛණ්ඩව මෙම නව තාක්ෂණය ඇගයීමට ලක් කරමින් අනාගතයේදී අනෙකුත් ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන සඳහා ද ලබා දීමට සැලසුම් කර ඇත.


Comments