CCTV පද්ධති ගැන උනන්දු ගොඩක් දෙනෙක් මුහුන දෙන පොදු ගැටලුවක් ගැන තමයි අද අපි සාකච්ඡා කරන්නේ.ඒ CCTV පද්ධතියකට සුදුසු Hard drive එකක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳවයි. මේ ලිපිය කියවීමෙන් පසු ඔබටම ඒ ගැටලුවට පිළිතුරක් සොයා ගන්නට හැකි වේවි.
මේ වැඩේදි අපිට සාමාන්ය Desktop hard drive එකක හා Surveillance hard drive එකක වෙනස හඳුනා ගැනීම වැදගත්. දශකයකට වඩා වැඩි කාළයක් CCTV පද්ධති සම්බන්ධ මගේ අත්දැකීම් එක්ක මං විශ්වාසයෙන් කියන්නේ CCTV පද්ධතියක් සැලසුම් කිරීමේදී නිවැරදිම Surveillance hard drive එකක් තෝරා ගැනීම අතිශය වැදගත්.
Surveillance නැත්නම් වීඩියෝ නිරීක්ෂණ පද්ධති සඳහා නිර්දේශිත hard drive භාවිතා කරන්නේ පැය 24/7 පුරා කැමරා පද්ධතිය මගින් ලබා ගන්නා වීඩියෝ දර්ශණ සහිත දත්ත ගබඩා කරන්නටයි. මේවා සාමාන්ය hard drive එකකට වඩා ක්රියාකාරීත්වයෙන් වෙනස්.
සාමාන්යයෙන් නම් ආරක්ෂණ පද්ධති සඳහා යොදා ගන්නා hard drive DVR හෝ NVR එක ඇතුලෙම සවි කරලා තමයි තියෙන්නේ. ඒත් සමහර වෙලාවට external hard drives භාවිතා කරන අවස්ථාත් නැතුවාම නෙවෙයි. ඒ කොහොම උනත් කැමරා පද්ධතිය මගින් එක දිගට ඉතා වේගයෙන් ලබා දෙන විශාල තොරතුරු ප්රමාණය කිසිඳු ප්රමාදයකින් තොරව ගබඩා කිරීම අනිවාර්ය දෙයක්.
බැලූ බැල්මට බාහිර පෙනුම එක වගේ නිසා බොහෝ දෙනෙක් හිතන්නෙ CCTV සඳහා භාවිතා කරන hard drive එකත් එදිනෙදා ජීවිතයේ අපට දකින්නට ලැබෙන desktop hard drive එකත් අතර වැඩි වෙනසක් නැති බව. නමුත් ඇත්තටම Surveillance hard disk එකක් සාමාන්ය hard drive එකකට වඩා හැම අතින්ම දියුණු, කල් පැවැත්ම ඉහළ සහ විශ්වාසවන්ත උපාංගයක්.
මේ Surveillance hard drive වල firmware එක ඒ කියන්නේ hard එකේ chip එකට ඇතුලත් කරලා තියන මෘදුකාංගය විශේෂයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ ඉතා වේගවත්ව තොරතුරු ගබඩා කර ගන්න හැකි වන ආකාරයට ඒ කියන්නෙ වේගයෙන් දත්ත ලියන්න පුලුවන් වන විදියට.
hard drive නිෂ්පාදකයන් වෙනමම Surveillance hard drive නිෂ්පාදනය කරනවා. Surveillance hard drive කොහොමත් සාමාන්ය hard drive වලට වඩා මිල අධිකයි. ඒ උනත් CCTV පද්ධති සමග වැඩ කරන වෘත්තීය තාක්ෂණ ශිල්පීන් සහ ඉංජිනේරුවන් විසින් හැම විටම නිර්දේශ කරන්නේ Surveillance hard drive තමයි. සෑහෙන කාළයක් වෘත්තීය මට්ටමේ CCTV පද්ධති සමග භාවිතා කරලා විශ්වාස නිසා මම Western Digital Purple වර්ගයේ හාඩ් ඩිස්ක් භාවිතා කරන්න කැමතියි. ඒ උනත් ඒ විතරක් නෙවෙයි වෙලඳපොළේ තව ගොඩක් හොඳ බ්රෑන්ඩ් තියනවා. මොකක් හරි කමක් නෑ හැම විටම හොඳ උපාංගයක් තෝරා ගන්න.
කොයි තරම් හොඳ බ්රෑන්ඩ් එකකින් හාඩ් එකක් අරන් සවි කළත් DVR හෝ NVR සඳහා සාමාන්ය වර්ගයේ හාඩ් ඩිස්ක් එකක් දාල නම් අපි බළාපොරොත්තු වෙන විදියේ හොඳ ප්රථිපළයක් බළාපොරොත්තු වෙන්න බැහැ. සමහර විට මුලින් වැඩ කරයි හැබැයි පහු පහු වෙනකොට දාහක්
ප්රශ්ණ තමයි.
වෙළඳ නාම වලින් කිවුවොත් Western Digital (Purple), Seagate (SkyHawk), Toshiba (S 300) කියන්නෙ මේ වගේ CCTV සඳහාම නිර්මාණය කරපු උපාංග තමයි. නිතරම DVR හරි NVR එකේ නිෂ්පාදකයා විසින් නිර්දේශිත ඩිස්ක් එකක් භාවිතා කරන එක නුවණට හුරු වැඩක්.මොකද සාමාන්යයෙන් නිෂ්පාදකයා විසින් ඒ ඒ උපාංග පරීක්ෂා කරන්නේ මොකක් හරි specific hard drive model වලින් නේ. ඉතින් ඒ වර්ගයේ උපාංග යොදා ගැනීම ප්රශ්ණයක් නෑ කියලත් 24/7 එක දිගටම භාවිතා කරන්න පුලුවන් කියලත් තහවුරු වෙලා තියෙන්නේ.
සුළු ලාභයක් බලලා හොඳ බ්රෑන්ඩ් නේම් එකක් නැති හාඩ් ඩිස්ක් නම් භාවිතා කිරීම එතරම් සුදුසු නෑ. ඒ වගේම සාමාන්ය වර්ගයේ හාඩ් සවි කරලා එන DVR සහ NVR ත් වෙලඳපොළේ තියනවා. ඒ තනිකරම ලාභය බලන් කරන සවුත්තු වැඩ. ඒ නිසා උපකරණ මිළදී ගන්නකොට ඒ ගැනත් සැළකිලිමත් වෙන්න.
සමහර හොඳ රෙකෝඩර් වල i-SCSI පෝට් එකක් එනවා external drive එකක් සම්බන්ධ කරන්න පුලුවන් වෙන විදියට. NAS (Network-attached storage) server එකක් එක්ක සම්බන්ධ කරන්න පුලුවන් වෙන විදියට අමතර ethernet port එකක් තියන උපකරණත් තියනවා. NAS ගැන වෙන ලිපියකින් කතා කරමු. NAS වලට සාමාන්ය හාඩ් ඩිස්ක් භාවිතා කරනවනෙ. ඒත් CCTV රෙකෝඩ් කරනවා නම් ඒවා දාල හරියන්නෙ නෑ NAS එකටත්. external drive එකක් භාවිතා කරන්න හිතනවා නම් හොඳ වර්ගයක කේබල් භාවිතා කිරීමත් ඉතා වැදගත්. මේ ලිපියෙන් ඔයාලාගෙ දැණුමට යමක් එකතු වෙයි කියලා හිතනවා.
ස්තුතියි!!


Comments
Post a Comment