ඔබේම කියා CCTV පද්ධති ස්ථාපනය කිරීමේ ව්‍යාපාරයක් අරඹන්න කැමතිද? මෙන්න අත්වැලක්..

CCTV තාක්ෂණය පිළිබඳ හැඳින්වීමක්
වේගයෙන් යාවත්කාලීන වන ඩිජිටල් ලෝකයේ අප වෙත එල්ල වී ඇති අභියෝගයන් සුළු පටු නොවන බව ඔබ දැනටමත් දන්නවා ඇති. මින් පෙර උත්සාහ නොකරන ලද නව්‍යකරණයන් සඳහා මිනිසා පොළඹවනු ලබනුයේ එවන් අභියෝගයන් වේ. වඩාත් සුරක්ෂිත ලෝකයක් වෙනුවෙන් සිහින දැකි මිනිසා එකී අරමුණ ජය ගැනීම වෙනුවෙන් තැබූ ඉදිරි පියවරක් ලෙස “වීඩියෝ නිරීක්ෂණ පද්ධති” හැඳින්විය හැක.
වාර්තා වන අන්දමට ප්‍රථමයෙන් කැමරා යොදා ගනිමින් නිරීක්ෂණය කිරීමේ සංකල්පය ක්‍රියාත්මක කරන ලද්දේ ජර්මානුවන් විසින්. ඒ 1940 දශක
යේ මුල් භාගයේ තරම් ඈත යුගයකදී. එතැන් පටන් ව්‍යාප්ත වූ CCTV තාක්ෂණය මේ වන විට Facial detection, Motion tracking ආදී නවීන පහසුකම් වලින් සමන්විතව ඉතා දියුණු තත්වයකට පැමිණ තව දුරටත් වේගයෙන් දියුණු වෙමින් පවතී.
සීසීටීවී කැමරා පද්ධති මෙතරම් ව්‍යාප්ත වීමටත්, දිනෙන් දින ජනප්‍රිය වීමටත් ප්‍රධානතම හේතූන් ලෙස දැක්විය හැක්කේ, යම් නිශ්චිත ස්ථානයක නිශ්චිත කාළ සීමාවක සිදුවූයේ කුමක්ද යන්න දැන ගැනීමට හැකි වීමත්, අපරාධ මැඩපැවැත්වීම සහ නීතිය හා සාමය පවත්වා ගැනීම පහසු වීම, එවන් යම් සිදුවීමක් වූ අවස්ථාවක එය සිදු කරන ලද තැනැත්තා හෝ තැනැත්තන් පහසුවෙන් හඳුනා ගත හැකි වීම, නීතිය ඉදිරියේ එය සාක්ෂියක් ලෙස ඉදිරිපත් කිරීමට ඇති හැකියාවත් ආදිය වේ. ආරක්ෂාව සහ නිරීක්ෂණය යන අවශ්‍යතාවයන් දිනෙන් දින වර්ධනය වනු විනා කිසි දිනක අභාවයට නොයන ප්‍රවණතාවයන් බැවින් ඔබේම CCTV කැමරා ස්ථාපන ව්‍යාපාරයක් ආරම්භ කිරීම යනු ඉහළ මූල්‍ය ප්‍රතිලාභ උපයා ගත හැකි, ස්ථාවර සහ නිවැරදිම තෝරාගැනීමක් වනු ඇත.

සාර්ථකව ඔබේම CCTV කැමරා ස්ථාපන ව්‍යාපාරයක් ආරම්භ කරන්නට නම්...
පළමුව ව්‍යාපාර සැලැස්මක් සකස් කරන්න:


මීට පෙර විශාල සාප්පු සංකීර්ණ, රජයේ කාර්යාල සහ ආයතනික කාර්යාලවලට පමණක් සීමා වූ ආරක්ෂක කැමරා පද්ධති අද වන විට සාමාන්‍ය නිවාස, කුඩා සාප්පු හා කාර්යාල දක්වා පුළුල් සේ ව්‍යාප්ත වී ඇත. එයින් පැහැදිලිවම අදහස් වනුයේ අපට ඩොලර් මිලියන ගණනක් සම්බන්ධ අති විශාල නව වෙළඳපොලක් විවර වී ඇති බවයි. ඔබේම ආරක්ෂක කැමරා ස්ථාපන ව්‍යාපාරයක් හිමි කර ගැනීමට ඔබ කැමති නම්, පළමුව ඔබේ ව්‍යාපාරය සාර්ථක කර ගත හැකි ආකාරය පිළිබඳ සැලැස්මක් ඔබ විසින් සකස් කළ යුතුය.
ඕනෑම ව්‍යාපාරයක ආයෝජනය කිරීමට පෙර ශක්‍යතා අධ්‍යයනයක් කිරීම නුවණට හුරුය. ශක්‍යතා අධ්‍යයනය සඳහා ව්‍යාපාරයේ විෂය පථය, ව්‍යාපාරික වාසි සහ අවාසි, සැකසුම් පිරිවැය, ආයෝජනය, කාල සීමාව සහ ආයෝජන වලින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව අවබෝධයක් ලබා ගත යුතුය. ඔබේ ප්‍රදේශයේ සීසීටීවී කැමරා පද්ධති සඳහා වන වෙළඳපල අවබෝධ කර ගැනීමට මෙම අධ්‍යයනය ඔබට උපකාරී වනු ඇත.
මෙහිදී ඔබ විසින් පහත කරුණු කෙරෙහි ඔබේ අවධානය යොමු කිරීම වැදගත් වේ.
ඔබේ වෙළඳපල ප්‍රමාණය, උපාංගයන්හි ගුණාත්මකභාවය සහ ඒවායේ වර්ග, කැමරා පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා සහ නඩත්තු සඳහා අවශ්‍ය වන සාමාන්‍ය පිරිවැය, ඔබ ඉලක්ක කළ යුතු වෙළඳපොළ, ඔබේ ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභ සහ අවශ්‍ය දැණුම ලබා ගත් පසු ඔබේ ව්‍යාපාරය ආරම්භ කිරීමට ගතවන කාලය.

ඉතා වැදගත්: ඔබට වඩාත් ගැලපෙන වෙළඳපොල තෝරා ගන්න

ඔබ සීසීටීවී කැමරා සම්බන්ධයෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ නම්, ඔබට හොඳ ප්‍රතිලාභ ලබා දිය හැකි විශාල වෙළඳපොළක් ඉලක්ක කර ගැනීම නුවණට හුරුය. එවැනි සමහර වෙළඳපොළවල් අතර ආයතනික කාර්යාල, රජයේ කාර්යාල, රෝහල්, පොලිස් ස්ථාන, රජයේ නිල නිවාස, ගුවන්තොටුපල, බස් නැවතුම්පොළ, දුම්රිය ස්ථාන වැනි ආයතනික පරිශ්‍රයන් ඇතුළත් වේ. ආරක්ෂක කැමරා බහුලව භාවිතා වන වෙනත් ස්ථාන වන්නේ සාප්පු සංකීර්ණ, පෞද්ගලික කාර්යාල, සාප්පු සහ පුද්ගලික නිවාස වේ. තවද මේ වන විට රථවාහන බහුල ප්‍රදේශ සහ මාර්ග, කර්මාන්තශාලා ආදියෙහි ද සීසීටීවී කැමරා පිහිටුවීමේ අවශ්‍යතාවයන් මතුව ඇත. වෙළඳපල අවශ්‍යතා මත පදනම්ව ඊට ගැලපෙන සේ ඔබ විසින් ආරක්ෂක කැමරා පද්ධති සවි කළ යුතුය.

ඔබේ ව්‍යාපාරය ආරම්භ කරන්න:


අතීතයේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා සුදුසු ව්‍යාපාරික ස්ථානයක් වෙනුවෙන් විශාල වියදමක් දැරීමට සිදු වුවද අද වන විට බොහෝ ව්‍යාපාර අන්තර්ජාලය හරහා තම ගනුදෙනුකරුවන් සමග සම්බන්ධ වෙමින් ව්‍යාපාරික කටයුතු සිදු කිරීම මගින් අති විශාල මූල්‍යමය ආයෝජනයකින් තොරව ඔබේම කියා ව්‍යාපාරයක් ඇරඹීමට හැකියාව ඇතිවී ඇත.
ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා ඔබේ ව්‍යාපාරය නිසි පරිදි ලියාපදිංචි කිරීම වඩා සුදුසු වේ. එය ඔබේ ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය ඉහළ නැංවීමට හේතුවක් වනු ඇත. තවද දැනටමත් මෙම ව්‍යාපාරයේ යෙදී සිටින පුද්ගලයින් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ ව්‍යාපාරික සම්බන්ධතා ඇති කර ගැනීම මගින්ද, ඔවුන් සතු අත්දැකීම් බෙදාහදා ගැනීම මගින් ව්‍යාපාරයේ ස්වභාවය හා අවධානම් අවම කර ගැනීම කෙරෙහි ඔබේ අවධානය යොමු කළ යුතුය. ආරක්‍ෂිත කැමරා නිෂ්පාදකයින්, වෙළඳුන් සහ බෙදාහරින්නන් සමඟ සම්බන්ධතා ඇතිකර ගනිමින් සෑම විටම ගුණාත්මක වෙළඳ නාම පදනම් කරගත් නිෂ්පාදන ඔබේ පාරිභෝගිකයන්ට ලබා දීම ව්‍යාපාරයේ කීර්තිනාමය ඉහළ නැංවීමටත්, දිගු කාලීන සාර්ථකත්වයකටත් හේතු වනු ඇත. ඊට පසු ඔබේ සේවාවන් සැපයීම වෙනුවෙන් ස්ථාපන කටයුතු සඳහා දක්ෂ සේවක කණ්ඩායමක් ද සිටීම වඩා සුදුසු වන අතර ආරම්භයේ දී එම කාර්යයන් ඔබටම සිදු කරගත හැකි වනු ඇත.

සැපයුම් ලබා ගැනීම:


ආරක්ෂක කැමරා සහ උපාංග නිෂ්පාදන සමාගම් සහ බෙදාහරින්නන් සමඟ සම්බන්ධ වීම මගින් ඔබට වඩා වාසි සහගත ව්‍යාපාර අවස්ථා විවර වනු ඇත. ඔබගේ ව්‍යාපාර සැලැස්ම සකස් කරන කාල සීමාවේදී ඉහළ ගුණාත්මක ආරක්ෂක කැමරා වෙළඳ නාම, ඒ සඳහා මෘදුකාංග සහ සේවා සපයන්නන් සහ උපාංග සහ අළුත්වැඩියා කිරීම් පිළිබඳව දැනුවත් වීමට හැකියාව ලැබෙනු ඇත. ඔවුන් හා සම්බන්ධ වී ඔබේ ව්‍යාපාර සැලැස්ම ඔවුන් වෙත ඉදිරිපත් කිරීම වඩා සුදුසු වේ. ඔවුන් ඔබේ ව්‍යාපාරය සහ එහි වෙළඳපල පිළිබඳව සෑහීමකට පත්වේ නම් ඔබට ඔවුන් සමඟ සෘජුව ගනුදෙනු කිරීමට හැකි වනු ඇත. වඩා හොඳ සේවාවක් සැපයීමට සහ හොඳ ප්‍රතිලාභ ලබා ගැනීමට මෙය ඔබට උපකාරී වනු ඇත.


ඔබේම කාර්මික සේවා සපයන කණ්ඩායමක්:


ආරක්ෂක කැමරා පද්ධතියක් සඳහා ස්ථාපනය, සැකසුම, මෘදුකාංග සහ අළුත්වැඩියා කිරීම සම්බන්ධ සියලු ගැටළු පිළිබඳව මනා දැනුමක් ඇති කාර්මික ශිල්පීන් කණ්ඩායමක් අවශ්‍ය වේ. ඔබේ ගනුදෙනුකරුට ගුණාත්මක සේවාවක් සැපයීම ඉතා වැදගත් දෙයක් බැවින් ඔබේ තාක්ෂණික දැණුම ඉහළ නංවා ගැනීම මෙන්ම දක්ෂ ශිල්පීය දැනුමෙන් යුතු කණ්ඩායමක් ඔබ සතු වීම අමතර වාසියක් වනු ඇත.
ආරක්ෂක කැමරා ව්‍යාපාරය ගුණාත්මක හා කඩිනම් සේවා සැපයීම මත බොහෝ සෙයින් රඳා පවතින අතර එමඟින් ඔබේ ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා ඔබේ කණ්ඩායම දැනුම හා කුසලතා වලින් සන්නද්ධ විය යුතුය.සාර්ථක මූළික පුහුණු වැඩසටහනක් මගින් අවශ්‍ය තාක්ෂණික දැණුම ලබා දීමෙන් ඔබට ඔබේ නුපුහුණු සේවකයා නිපුනතාවයෙන් පිරිපුන් තාක්ෂණ ශිල්පියකු බවට පත් කරගත හැක.

ඔබට අවශ්‍ය වන සීසීටීවී කැමරා පද්ධති සංරචක (System components):


සීසීටීවී කැමරා විකිණීම සහ ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය වන බොහෝ සංරචක තිබේ. එය කැමරාවට පමණක් සීමා නොවේ. තවත් බොහෝ උපාංග මේ හා සමඟ සම්බන්ධ වී ඇත. ආරක්ෂක කැමරා පද්ධතියක් ස්ථාපනය කිරීමේදී අවශ්‍ය වන වැදගත් අංගයන් පහතින් දක්වමි.
කැමරාව: නිශ්චිත ස්ථානයක දර්ශණ ලබා ගැනීම සඳහා ඔබට ආරක්ෂක කැමරාවක් අවශ්‍ය වේ. විවිධ වර්ග වල කැමරා ඇති අතර අවශ්‍යතාවය අනුව සුදුසු කැමරාවන් අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වේ.සමහර ඒවා සමීප දර්ශණ ලබා ගැනීම සඳහා පමණක් සුදුසු වන අතර සමහර ඒවා දුරස්ථ අවකාශයක දර්ශණ ලබා ගැනීම සඳහා සුදුසු වේ. සේවාදායකයාගේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා ඔබ විසින් විවිධ වර්ගයේ කැමරා සහ ඒවා අවස්ථානුකූලව භාවිතා කරන ආකාරය පිළිබඳව දැණුවත් වී තිබීම අත්‍යවශ්‍ය වේ.
ඩිජිටල් වීඩියෝ රෙකෝඩරය: සීසීටීවී කැමරාවට හසු වන දර්ශණ ඩීවීආර් යන්ත්‍රය මගින් ගබඩා කරනු ලැබේ.
සීසීටීවී කේබල්: සීසීටීවී කේබලයක් යනු කැමරාව ඩීවීආර් සමඟ සම්බන්ධ කරන රැහැන් ය.
BNC සම්බන්ධකය: එය විවිධ කැමරාවන් ඩීවීආර් යන්ත්‍රය සමඟ සම්බන්ධ කරන සම්බන්ධකයකි.
සීසීටීවී බල සැපයුම: සමස්ත ආරක්ෂක පද්ධතියට නිරන්තර විදුලි සැපයුමක් සැපයීම සඳහා සීසීටීවී බල සැපයුම අත්‍යවශ්‍ය වේ. බල සැපයුම 24VAC සහ 12VDC වලින්සමන්විත වේ. ආරක්ෂණ පද්ධතිය හා ඊට සම්බන්ධ කැමරා ගණන මත පදනම්ව එය සැකසුම් කළ හැකිය.
වෙනත් අත්‍යවශ්‍ය මෙවලම්: සීසීටීවී පද්ධතියක් සවි කිරීම සඳහා ඔබට විවිධ වර්ගයේ මෙවලම් අවශ්‍ය වේ. මෙම මෙවලම් පිළිබඳව දැණුවත් වීම අත්‍යවශ්‍ය කරුණකි.
මෘදුකාංග අවශ්‍යතාවයන්: සීසීටීවී කැමරා පද්ධතිය සඳහා අවශ්‍ය මෘදුකාංග පිළිබඳ දැණුවත් වීම අවශ්‍ය වනු ඇත. කැමරාවේ වර්ගය සහ ඔබ භාවිතා කරන කැමරා ගණන මත පදනම්ව මෘදුකාංගයන් තෝරා ගත හැකි අතර මෙය මූලික වශයෙන් තාක්ෂණ ශිල්පියාගේ කාර්යයක් වුවද ඒ පිළිබඳව ඔබට මූලික දැනුමක් තිබිය යුතුය.

නව්‍යකරණය:


වර්තමාන තත්ත්වය තුළ, සීසීටීවී වෙළඳපල දැනටමත් සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින අතර ඒ සමඟ ගනුදෙනු කරන තවත් බොහෝ සැපයුම්කරුවන් සහ ව්‍යාපාර තිබේ. එවිට ඔබේ සාර්ථකත්වයට හේතුව කුමක්ද?
ඔබේ පාරිභෝගිකයන් හට නවීනතම තාක්‍ෂණය සහිත ආරක්ෂක නිරීක්ෂණ පද්ධති ලබා දීම ඔබේ සාර්ථකත්වයට හේතුව වනු ඇත.
ගුණාත්මක මෘදුකාංග සහ විශිෂ්ට සේවාවක් සැපයීම මගින් ඔබ මෙම ව්‍යාපාරයේ සුවිශේෂී කඩඉමක් සළකුනු කරනු ලබන විශිෂ්ඨ ව්‍යාපාරිකයකු බවට පත් කරනු ඇත.
ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගත හැකි ඉතා සිත්ගන්නාසුලු අංග හඳුන්වා දීම, කෘතිම බුද්ධිය ආරක්ෂක පද්ධති සඳහා යොදා ගැනීම ආදිය මගින් ඔබට වෙළඳපල ආකර්ෂණය වැඩි කර ගත හැක. මීට අමතරව හදිසි අවස්ථා සඳහා අනතුරු ඇඟවීමේ පහසුකම ද බොහෝ ගනුදෙනුකරුවන්ට අවශ්‍ය අංගයක් වේ.

ආරක්ෂක කැමරා ව්‍යාපාරයක් සඳහා ප්‍රාග්ධන ආයෝජනය:


ආරක්ෂක කැමරා ස්ථාපනය කිරීමේ ව්‍යාපාරය සඳහා වන මුළු වියදම පිළිබඳ අදහසක් ලබා ගැනීම සඳහා මීට පෙර අප විසින් සාකච්ඡා කළ ශක්‍යතා අධ්‍යයනය ඔබට උපකාරී වනු ඇත. එය ඔබේ ව්‍යාපාරයේ පරිමාණය මත රඳා පවතින අතර ඒ අනුව ඔබට අවශ්‍ය ප්‍රාග්ධන ආයෝජන ප්‍රමාණය වෙනස් වනු ඇත.

ආයෝජන මත ප්‍රතිලාභ:


ඕනෑම ව්‍යාපාරයක් ආරම්භයේදී ඔබ සතුව ඇත්තේ සීමිත ප්‍රාග්ධනයක් නම් සහ ආයෝජන මත ප්‍රතිලාභය පිළිබඳව සැක සහිත නම්, ඔබ ව්‍යාපාරය ටිකෙන් ටික සෙමින් ආරම්භ කළ යුතු අතර ඔබට යම් ප්‍රතිලාභයක් ලැබීමෙන් පසුව එය පුළුල් කළ යුතුය. ආයෝජන මත ප්‍රතිලාභ ඔබ ආයෝජනය කළ ප්‍රාග්ධනය, ව්‍යාපාරික ක්‍රමෝපායන්, ඔබේ ව්‍යාපාරයේ අලෙවිකරණ ක්‍රමවේදයන්, ඔබේ ව්‍යාපාරික සම්බන්ධතා සහ ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වය යනාදී කරුණු මත රඳා පවතී.

අලෙවිකරණය:


ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඔබේ අලෙවිකරණ කුසලතා මත ය. ඔබේ අලෙවිකරණ ක්‍රමෝපායන් අසාර්ථක නම්, ඔබේ නිෂ්පාදනය සහ සේවාවන් කොතරම් හොඳ වුවත් ඔබට ව්‍යාපාරයේ සාර්ථක විය නොහැක. එබැවින් වෙළඳ දැන්වීම් සහ නවමු අලෙවිකරණ ක්‍රම කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න. බෙදාහරින්නන්, සුපරීක්‍ෂණය හා කැමරා නිෂ්පාදනය සමඟ කටයුතු කරන සමාගම් සමඟ ඔබට හොඳ සම්බන්ධතාවයන් තිබේ නම් විශාල ව්‍යාපෘති ආදිය නොපැකිළිව භාර ගත හැකිය.
අවසාන වශයෙන්, බොහෝ තාක්‍ෂණික උපකරණ, වෙළඳපල සහ සේවාවන් ඇති ව්‍යාපාරයක් ලෙස ඔබේ ව්‍යාපාරයට ස්ථාවර වීම සඳහා යම් කාලයක් ලබා දිය යුතුය.
ආරක්ෂණ කැමරා පද්ධති සම්බන්ධව ඔබේම ව්‍යාපාරයක් ගොඩ නැංවීම සඳහා මෙම ලිපිය අඩිතාලමක් වනු ඇතැයි Amazing Academy අප විශ්වාස කරමු.

Comments